ඩයලොග් ටෙලිවිෂන් විසින් නැණස හා ගුරු ටීවී අධ්‍යාපනික නාලිකා නොමිලේ ලබාදීමට කටයුතු කරයි

මෙරට අධ්‍යාපනය ලබන සෑම දරුවෙකුටම බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු කරගෙන යාමට සහායවීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩපිළිවෙල තවත් ඉදිරියට ගෙනයමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් සමාගම ඩයලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ නැණස සිංහල, නැණස දෙමළ සහ ගුරු ටීවී යන අධ්‍යාපනික නාලිකා ත්‍රිත්වය නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත.

පවතින වසංගත තත්වය මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරන පසුබිමක් තුළ දිවයිනේ සමස්ත සිසු පරපුරට සිය අධ්‍යයන කටයුතු බාධාවකින් තොරව ඉදිරියට ගෙනයාමට සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ඩයලොග් සමාගම කැපවී සිටීයි. ඩයලොග් ටෙලිවිෂන් පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට නැණස සිංහල, නැණස දෙමළ සහ ගුරු ටීවී නාලිකා නොමිලේ නැරඹීමේ අවස්ථාව හිමිව තිබේ. ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 24 ඔස්සේ විකාශය වන නැණස සිංහල හා නාලිකා අංක 25 ඔස්සේ විකාශය වන නැණස දෙමළ නාලිකා හරහා 3 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් විෂය නිර්දේශය ආවරණය කෙරෙන අතර, නාලිකා අංක 22 ඔස්සේ විකාශය වන ගුරු ටීවී තුළින් ආවරණය කෙරෙන්නේ 5 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා රජයේ පාසල් විෂය නිර්දේශයයි. පළපුරුදු ගුරු මඩුල්ලක් විසින් නවීනතම ඉගෙනුම් ක්‍රම භාවිත කරමින් විෂයයන් ඉගැන්වීමේ කටයුතු සිදුකරනු ලබයි. තවද ඉහත සඳහන් කළ නාලිකා ත්‍රිත්වයට අමතරව ViU App, ViU Hub සහ ViU Mini ඔස්සේ 160 කට අධික අතිරේක පාඩම් මාලා සහ අධ්‍යාපනික අන්තරගතයන් සමඟ නොමිලේ සම්බන්ධ විය හැක. ඒ සඳහා ඩයලොග් ජාලය තුළ කිසිඳු ඩේටා ගාස්තුවක් අයනොකෙරේ.

ඩයලොග් ටෙලිවිෂන් ව්‍යාපාර අංශ ප්‍රධානී චිරන්ත ද සොයිසා මහතා මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වීය. “මේ රටේ සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම නිසි අධ්‍යාපනයක් ලබාගැනීමට සමාන අවස්ථා ලබාදී ඔවුන්ගේ අනාගතය ජයගන්න අත්වැලක් සැපයීම වෙනුවෙන් අප දරන උත්සාහයේ තවත් ඉදිරි පියවරක් ලෙස නැණස සිංහල, නැණස දෙමළ සහ ගුරු ටීවී අධ්‍යාපනික නාලිකා නොමිලේ ලබාදීමට කටයුතු කිරීම පිළිබඳව සඳහන් කළ හැකීයි.පවතින වසංගත තත්වය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන අඩු ලුහුඩුකම් පිළිබඳව නිසි අවබෝධයක් ලබාගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා වගේම, සෑම දරුවෙකුටම නිසි අධ්‍යාපනයක් ලබාගැනීම වෙනුවෙන් ප්‍රවේශ විය හැකි මාධ්‍යයන්ට පහසුකම් සැලසීමේ වැදගත්කමද මැනවින් පිළිබිඹු කිරීමට සමත්ව තිබෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විෂමතා අවම කිරීමට ඩයලොග් සමාගම ඉදිරියටත් කටයුතු කරනවා.”

දැයේ දූ දරුවන්ගේ අධ්‍යාපන අරමුණු මල්ඵලගැන්වීමේ අරමුණෙන් ඩයලොග් සමාගම විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන් රැසක තවත් සුවිශේෂී කඩඉමක් වශයෙන් මෙම කටයුත්ත අර්ථ දැක්විය හැක. මෙම කාර්යයට අමතරව ‘නැණස’ වැඩසටහන යටතේ නැණස ටීවී, නැණස ස්මාට් ස්කූල්, නැණස ඇප් සහ නොමිලේ ක්‍රියාත්මක වන නැණස 1916 දුරස්ථ අධ්‍යාපන සේවාව යනාදී අධ්‍යාපනික මාධ්‍ය ඔස්සේද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය බලගැන්වීමට ඩයලොග් සමාගම කටයුතු කර තිබේ. තවද දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ගේ මාර්ගගත (Online) අධ්‍යාපන කටයුතුවලට පහසුකම් සැලසීම වෙනුවෙන් ‘නැණදිරි ඩේටා ශිෂ්‍යත්ව’ වැඩසටහන යටතේ සිසුන් ලක්ෂයකට ඩේටා ශිෂ්‍යත්ව පිරිනැමීමටද පියවර ගෙන ඇත. මීට අමතරව ඊ-තක්සාලාව, ජාතික ඉගෙනුම් අන්තර්ගත කළමනාකරණ පද්ධතිය (LCMS) / ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (LMS ) සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලුම නිල විද්‍යුත් ඉගෙනුම් පද්ධති සඳහා ඩයලොග් සමාගම කිසිඳු ඩේටා ගාස්තුවකින් තොරව නොමිලේ ප්‍රවේශය ලබාදී තිබේ.

Share this post