වළක්වාගත හැකි අන්ධභාවය තුරන් කිරීමේ Vision 2020 මුලපිරීම සමඟ ඩයලොග් 25 වෙනි අක්ෂි සායනය සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදක වන ඩයලොග් ආසිආටා පීඑල්සී තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 25 වෙනි වරට සංවිධාන කල අක්ෂි සායනය පසුගියදා සම්පූර්ණ කරනු ලැබිණි. ඒ අනුව ඩයලොග් විසින් මේ දක්වා දිස්ත්‍රික්ක 10 ක් ආවරණය වන පරිදි ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන් 11,034 ක් පරීක්ෂාවට ලක්කරමින් ඇස් කණ්ණාඩි 8,617 ක් බෙදාදීමට කටයුතු කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ අන්ධභාවය වැළැක්වීමේ ජාත්‍යන්තර ආයතනයේ ගෝලීය මුලපිරීමක් වන Vision 2020 වැඩසටහන සඳහා (වැළැක්විය හැකි අන්ධභාවය 2020 වන විට මුලිනුපුටා දැමීම මෙහි මූලික අරමුණයි) සහාය දෙන බවට ඩයලොග් ලබාදුන් ප්‍රතිඳාවට සමගාමීව මෙය ක්‍රියාත්මක වේ.

ඩයලොග් විසින් 2015 සිදුකල මුලපිරීම සඳහා ලබාදුන් කැපවීම තවදුරටත් ඉදිරියට ගෙනයමින්, විශේෂයෙන් ග්‍රාමීය ප්‍රදේශවල අඩු ආදායම්ලාභී ශ්‍රී ලාංකීය ප්‍රජාවට අක්ෂි සේවා සැපයීම සඳහා, ශ්‍රී ලංකා රුපියල් මිලියන 14 ක ආයෝජනයක් මේ දක්වා සිදුකර තිබේ. දිවයිනපුරා විසිරී සිටින ඩයලොග් හි ක්‍රියාශීලී ප්‍රාදේශීය අලෙවි කණ්ඩායම්වල සහායෙන් සමාගම විසින් අක්ෂි සායන සම්බන්ධීකරණය කර සංවිධාන කරන අතර, අනතුරුව සුදුසුකම්ලත් අක්ෂි වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලබන පූර්ණ පරීක්ෂාවලින් පසුව නිකුත් කරන නිර්දේශ එකතු කරගනු ලැබේ. මෙම නිර්දේශ පදනම් කරගනිමින් Vision 2020 සහයෝගීතා දෘෂ්ටි විශේෂඳයන් විසින් විශේෂ ඇස් කණ්ණාඩි සකස් කර දෙනු ලබන අතර, මෙම ඇස් කණ්ණාඩි ප්‍රතිලාභීන් අතර බෙදාදීම වෙනුවෙන්ම පැවැත්වෙන උත්සවයකදී ඒවා ඔවුන් වෙත ලබාදීමටද කටයුතු සැලසේ. වෙනත් ආකාරයේ ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහන් මෙන් නොව, ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ අවශ්‍යතාවලට ගැලපෙන අයුරින් විශේෂයෙන් සකස් කල ඇස් කණ්ණාඩි නොමිලේ පිරිනැමීම මෙම මුලපිරීමෙහි විශේෂත්වය සහ වැදගත්කමයි. මීට අමතරව වැඩිදුරටත් ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් අතිරේක ප්‍රතිකාර සඳහා අක්ෂි සායන සහ සැත්කම් සිදුකරන වෛද්‍යවරුන් වෙත යොමු කරනු ලැබේ.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ආයතනික නිලධාරී ශ්‍යාම් මජීඩ් මහතා මේ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය. “සමාජයේ බහු ජනකොටස් අතර ඩිජිටල් පහසුකම් ඇතුළත් කරමින්, නවෝත්පාදන සහ තාක්ෂණය උපයෝගී කරගනිමින් ජනජීවිත සහ ව්‍යවසායන් සවිබලගන්වමින් පොහොසත් කරන්නට ඩයලොග් නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව කවදත් කටයුතු කර තිබෙනවා. මීට අමතරව ජීවිත වඩාත් පහසු කරන බහු සංවේදී සන්නිවේදන මෙවලම් හඳුන්වාදෙන සමාගමක් වශයෙන්, අප කවදත් ශ්‍රවණ සහ කථන අපහසුතා සහිත පුද්ගලයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙන අතර, මෑතක සිට දෘශ්‍යාබාධ සහිතවූවන් වෙතද එකී අවධානය යොමුකර ඇතිබව සඳහන් කිරීමට කැමතීයි. සමාජයේ වරප්‍රසාද අහිමි ජනකොටස් සඳහා සහන සලසමින් ඔවුන් එවැනි වැඩසටහන් සඳහා ඇතුළත් කරගැනීමට ඩයලොග් සමාගම දීර්ඝ කාලයක් තිස්සේ කැපවී සිටින අතර, 2007 වසරේ රත්මලාන ‘Audiology Centre’ ස්ථාපනයට සහායවීමෙන්ද, භාෂා හැසිරවීමේ සහ කථනයේ අපහසුතා සහිත පුද්ගලයන් හට ආදේශක සන්නිවේදන මෙවලමක් ලෙස නොමිලේ භාවිත කල හැකි නවමු ආකාරයේ ඇප් එකක් වන, ශ්‍රී ලංකාවේ පළමු ත්‍රෛභාෂික සන්නිවේදන ඇප් එක වන ‘අතුරු මිතුරු’ හඳුන්වාදීම හරහා මනාව පිළිබිඹු වෙනවා.”

Vision 2020 පිළිබඳ වැඩි විස්තර දැනගැනීමට http://dialogfoundation.org/what-we-do/vision-2020/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share this post