COVID-19 තත්වය හමුවේ ඩයලොග් නැණස 1377 අධ්‍යාපන සහාය සේවාව හරහා දැයේ දූ දරුවන් සවිබලගන්වයි

මෙම අසීරු කාලසීමාවේදී දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහායවෙමින්, නියමිත කාලයට පෙර පාසල් වසා දැමීම හේතුවෙන් අධ්‍යාපන පද්ධතියට සිදුවන හානිය අවම කිරීම සඳහා, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව නැණස 1377 දුරස්ථ අධ්‍යාපන සහාය සේවාව හඳුන්වාදී තිබේ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට පවතින වත්මන් තත්වය හමුවේ නිවසේ සුරක්ෂිතව රැඳී සිටින අතරවාරයේ නිරතුරුවම සම්බන්ධව සිටිමින්, තම ඉගෙනුම් කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙනයාමට සහායවීම මෙම සේවාවේ අරමුණයි.

මෙම සුවිශේෂී ක්ෂණික ඇමතුම් සේවාව හරහා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන්ට ගණිතය,විද්‍යාව, සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන විෂයන් හා සම්බන්ධව ඔවුන්ට පවතින ගැටලු නිරාකරණය කරගැනීම සඳහා රජයේ පුහුණුවලත් විශේෂඥ ගුරු මඩුල්ලක් වෙත ඒවා යොමුකර ඊට පිළිතුරු ලබාගත හැකිය. සියලුම ඩයලොග් පාරිභෝගිකයන්ට නොමිලේ හිමිවන මෙම සේවාව, ඕනෑම ඩයලොග් දුරකතනයකින් 1377 ඇමතීම හරහා ලබාගත හැකිය. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් වෙනුවෙන් හඳුන්වාදුන් මෙම කාලීන සේවාව සෑම දිනකම පෙ.ව 9 සිට දහවල් 12 දක්වා ලබාගත හැක.

නැණස 1377 දුරස්ථ අධ්‍යාපන සහාය සේවාවවට අමතරව ඩයලොග් සමාගම සිය පාර්ශවකරුවන් සමඟ එක්ව ඩේටා ගාස්තු නොමැතිව Guru.lk සහ e-thaksalawa (අධ්‍යාපන අමාත්‍යාංශයේ අන්තර්ජාල ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය) යන වෙබ් අඩවි සඳහාත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ e-learning වෙබ් අඩවිය සහ නැණස ඇප් එක වෙත පිවිසීමටත් අවස්ථාව සලසාදී තිබෙන අතර, තම සියලුම මොබයිල් පාරිභෝගිකයන්ට ඩේටා ගාස්තු නොමැතිව Dialog ViU ඇප් එක නොමිලේ භාවිත කිරීමටත් අවස්ථාව ලබාදී තිබේ. මීට අමතරව ඩයලොග් සමාගම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සමඟ එක්ව මෙරට සියලු රාජ්‍ය විශ්ව විද්‍යාලවල e-Learning වෙබ් අඩවි සඳහා ඩේටා ගාස්තු නොමැතිව නොමිලේ පිවිසීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කර ඇත.

ඩයලොග් ආසිආටා පීඑල්සී හි තවත් සමාජ නවෝත්පාදන ව්‍යාපෘතියක් වන මෙම අධ්‍යාපන සේවාව Covid – 19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන සටනට උරදීම හා සමාගම එක්වීමේ පියවරක් වශයෙන්ද සැලකිය හැකිය. මීට අමතරව ශ්‍රී ලාංකිකයන්ට නිවසේ සිට සුරක්ෂිතව, නිරතුරුව සම්බන්ධව සිටීම සඳහා අවකාශ සලසනු වස්, මිලියන 15 කට අධික පාරිභෝගිකයන්ට සහ මහජනතාවට e-Connect, e-Learn, e-Health, e-Tainment, e-Care සහ e-Work solution (www.dialog.lk/home ඔස්සේ පිවිසිය හැක) වැනි පහසුකම් රැසක් සලසාදීමටද ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් පියවර ගෙන ඇත.

Share this post